Sunday, March 16, 2014

අඬා හැලෙන ඇල්ල


රුහුණු පුරවරයේ ගාලු දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තරයට අයත් බෙරලිය මූකළාන නම් වන රක්‍ෂිතය තුළ පිහිටා ඇති අතිසුන්දර අඬා හැලෙන ඇල්ල වූ කලී ස්වභාව සෞන්දර්යයේ තවත් අපූරු නිමැවුමකි. උසින් අඩි තිස් පහකින්ද පළලින් අඩි හතළිහකින්ද සමන්විත වූ මෙකී දිය දහර දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමඳ ප්‍රසාදයට ලක්වූ ස්ථානයකි.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රවේශයෙන් ඇල්පිටිය නගරයටත් එතැනින් පිටුවල ග්‍රාමයටත් පැමිණි කල මේ සොඳුරු ලලනාවගේ සොබා සොඳුරු සුන්දරත්වය අත් විඳිය හැකිය. එනමුදු වර්තමානය වන විට අඬා හැලෙන ඇල්ල නැරඹීමට පැමිණෙන ඇතැම් පිරිස් ක්‍රියා කරන ආකාරය නිසා වන රක්‍ෂිතයට මෙන්ම සොඳුරු දිය ඇල්ලටද විවිධ වූ අහිතකර බලපෑම් එල්ල වී තිබේ.

අඬා හැලෙන ඇල්ල නැරඹීමට බොහෝ විට සති අන්තයේ සහ නිවාඩු දිනයන්හිදී බොහෝ පිරිස් පැමිණෙති. එලෙස පැමිණෙන බොහෝ දෙනා මෙම ස්ථානයේ අශීලාචාර අන්දමින් හැසිරෙමින් මත්පැන් සාද පැවැත්වීමට හුරු පුරුදු වී සිටිති. හිස් බෝතල් කුඩුකර ඇල්ල අවට දැමීමත්, පොලිතින්, බියර් ටින්, හිස් බෝතල් ආදී අපද්‍රව්‍ය ආදිය නිසා මෙම සොඳුරු නිකැළැල් භූමිය අද වන විට හානියට පත්වී විවිධ අහිතකර බලපෑම් එල්ල වීමට පටන් ගෙන තිබේ. දිනෙන් දිනම උග්‍ර තත්ත්වයට පත්වන මෙම අඬා හැලෙන ඇල්ලේ කඩා හැලෙන කඳුළු කතාව මෙලෙස "මව්බිම - අලිමංකඩ" පිටු අතරට එක්කිරීමට තීරණය කරනු ලැබුවේද අදාළ බලධාරීන්ගේ අවධානය ඒ දෙසට යොමු කරවීමේ අටියෙනි.

"ඇල්ල නැරඹීමට පැමිණෙන බොහෝ අය පොලිතින් ආදී අපද්‍රව්‍ය රැගෙන ඒමත් ඒවා පරිසරයට බැහැර කිරීමත් දිය ඇල්ලේ සුන්දරත්වය විඳීම වෙනුවට ඇතැම් අය මෙහි පැමිණ අශෝභන ආකාරයෙන් හැසිරෙන අයුරුත් දැක ගත හැකි"යැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම ස්ථානයේ නිසි පරිපාලන ක්‍රමවේදයක් සකස් කර භාරකරුවකු හෝ පොලිස් මුරපොළක් හෝ පවත්වාගෙන යනු ලැබුවහොත් අඬා හැලෙන ඇල්ලේ නිකැළැල් සුන්දරත්වය එලෙසටම අනාගත පරපුරට දායාද කළ හැකි බව පරිසර හිතකාමීන්ගේ මතයයි. එසේ වුවහොත් ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි දිය ඇලි අතරින් සුවිශේෂි දිය ඇල්ලක් බවට පත්වූ අඬා හැලෙන ඇල්ල අනාගත පරපුරටද අමිල දායාදයක් වනු නොඅනුමානය


No comments:

Post a Comment